Sunday, November 27, 2016

මමයි මගේ හීනයි

ම‍ට ඕන ලියන්න. ඒක මට මගේ පුංචිම කාලෙ ඉදන් ඕන වුනු දෙයක්. මම ලාංකීය සිතුවිලි එක්ක වගේම blog එකක් පටන් අරගෙන ලියන මුල්ම post එක තමයි මේ. ඇත්තටම මම මොනාද ලියන්නෙ. ඒ පිළිබද නිශ්චිත අදහසක් මට නෑ. මම හීන දකින කෙනෙක්. හරියටම කිව්වොත් ඒකට ඇබ්බැහි වුනු කෙනෙක්. යථාර්තයෙන් වෙන් වුනු මවා ගැනීමේ ලෝකයක් තුල මට වෙනස්ම ජීවිතයක් තියෙනවා. බොහෝම ඈතට ඒ කියන්නෙ මගේ පුංචිම කාලෙට ගියොත් සුන්දර අසුන්දර මතක ගොඩක් එකතු කරපු කාලයක් ඒක. මගේ පරණම මතකය තමා මම දවසක ජනේල කවුලුව අතරින් ළාවට ඉර එළිය වැටිලා ඒ දැනුනු උණුහුමට මම ඇහැරුනා. මම ඇදගෙන හිටියේ මගේ ආසම නිල් පාට රැලි කරපු කළිසම. මම හුගක් පොඩියි එතකොට. අම්මව මම හෙවුවත් එයා ගේ ඇතුලෙ හිටියේ නෑ. මම හිමින් හිමින් මැටි බිත්තිය අත ගගාගෙන එළියට ගියා. ඒ මැටි වලින් හැදුනු ගෙදර ඇතුලෙ දැනුනු සිසිලස තාමත් මට මතකයි. එළියෙ තිබුනු මහා විශාල ගස් සුළ‍ගට සෙලවෙන ශබ්ධය එතකොට කුරුල්ලන්ගේ කිචි බිචිය අස්සේ මම ඇවිදගෙන ගියේ රුක්අත්තන ගහ ගාවට. කහම කහ පාට රුක්අත්තන මලක් මම අහුල ගත්තා. අතීතය ගැන හිතද්දි ඒකටම වෙන්වුන අමුතුම සුවදක් තියෙනවා. මහා ලොකු සෙල්ලම් බඩු ගොඩක් නොතිබුනත් කොස් කොළ වලින් තොප්පි හදන්න එතකොට නම මතක නැති කොළ වර්ගයකින් නලා හදන්න මම පුරුදු වෙලා හිටියා. ඇයි ඔයාලත් සමහර විට හදලා ඇති මංනොක්කා (නම හරියට ටයිප් කරන විදිය දන්නෙ නෑ) කොල මාල හැදුවා මම.
මම මේ ලෝකෙට එනකොට තනියම නෙමේ ආවේ. තව පොඩි මල්ලි කෙනෙකුත් අරගෙන තමයි ආවේ. ඉතින් අපි දෙන්නම ලස්සන කතා හැදුවා. ඒ කතා ඇතුලේ අපි එක එක චරිත වලට රගපෑවා. මේ පොටෝ එකේ ඉන්නෙ මම පොඩි කාලෙ මගෙ යාලුවො උනු එක එක සත්තුන්ගෙන් එක සතෙක්. එයා කිටී බෝලෙ. ඒත් මට ඇත්ත ජීවිතේ අඩුවක් දැනුනා. මම මගේ මනස තුල යා‍ලුවෝ ගොඩාක් ඇති කර ගත්තා. ‍මම හිතින් ගොඩාක් වෙලා එයාලා එක්ක කතා කලා. ඒ අතරෙ මගේ මවා ගත්ත තාත්තත් හිටියා. එයයි මමයි ගොඩාක් දේවල් කලා. අපි ඈත රටවල කදු නගින්න ගියා. එතකොට කැලෑවල කෑම්ප් හදාගෙන හිටියා. ඇයි තව හවසට එකට සිංදු කිව්වා.
මට දැනෙන හැම ප්‍රශ්නයකටම විසදුම් එයා ලග තිබුනා. අඩුම තරමින් එයා මට නිදහසේ අඩන්න ඉඩ දුන්නා. මගේ සුන්දරම ළමා කාලෙ අපේ ගෙදර කඩාගෙන වැටුනා. ඒ ලස්සන මැටි ගෙදර තව දුරටත් අපිට ඉන්න බැරි වුනා. ගහකොල සුන්දර සොබාදහම මගෙ සත්තු යාලුවෝ සේරම දාලා කොළඹ නුවර පාර අයිනෙ තියෙන කෘතිම ඒ කියන්නෙ සිමෙන්ති වලින් හදපු ගෙදරට අපි ආවා. අර සිසිලස ඒ කොන්ක්‍රීට් ගොඩ ඇතුලෙ තිබුනෙ නෑ. ලස්සන සින්දු කියපු කුරුල්ලො එතකොට සුලගත් එක්ක නැලවුනු ගස් අලුත් ගෙදර තිබුනෙ නෑ. ඉතින් මගේ මවා ගැනීම හොදටම වැඩි වුනා. මම බය වුනා අම්මට මගේ වෙනස තේරෙයි කියලා. ඒ වුනත් මගේ යාලුවො සේරම හිටියෙ මගෙ හීන වල. මම ශර්ලොක් හෝම්ස් එක්ක දොස්තර වොට්සන් එක්ක බේකර් වීදියෙ උණු කෝපි බිව්වා. එතකොට LITTLE HOUSE කතා මාලාවේ ලෝරායි එයාගෙ පවුලයි මුහුණ දීපු දරුණුම සීත කාලෙ මම එයාලත් එක්කම හිටියා. අද මල්ලිගෙ graduation එක. ඉතින් අම්මා අයියා දෙන්නා එයා එක්ක ිහින්. මට ගොඩාක් පාලුයි. ඒත් තනිකම ඇතුලෙත් අමුතුම සතුටක් තියෙනවා. ඉතින් ස්කෝලෙ උගන්නන වෙලාවටත් මම වැඩි හරියක්ම ජීවත් වුනේ මගේ මවා ගැනීම් එක්ක. මම බය වුනා ටීචලට සර්ලට ඒක තේරෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. මම ස්කෝලෙ යන එක අඩු කලා. මාසෙකට දවස් පහක් හයක් වගේ තමා මාව ස්කෝලෙ යැවුනේ. ඒත් හැමදාම පංතියෙ පළවෙනියා දෙවනියා වෙන්න පුලුවන් වුනා. දවස් ගොඩාක් ඉක්මනට ගත වෙන්න ගත්ත. මගේ සිහින වල චරිත එකක්වත් වයසට ගියේ නෑ. ඒත් මම ටික ටික ලොකු වුනා. කැම්පස් යනකොට මම මගේ මවා ගැනීම් වල දරුණුවටම අතරමං වෙලා. ඇත්ත යථාර්තය කියන දේයි මගේ මවා ගැනීම් අතරෙයි පරතරය තේරුම් ගන්නකොට මාව DEPRESSION වලට ගොදුරු වුනා. හේතුවක් නැතිවම මම අඩන්න ගත්තා. යාලුවන්ගෙන් ඈත් වුනා. මට තාමත් මගෙ මවා ගත්ත තාත්තගෙන් ඈත් වෙන්න බෑ. මම උත්සහ කරනවා මවා ගැනීම් වලයි යථාර්තයයි ඇතුලෙ සමබරතාවයක් ඇති කරගන්න. ඒත් ඒක ලේසි නෑ. මම හොයන කොල පාට ලෝකෙ වෙනුවට දැන් තියෙන්නෙ අලු පාට ලෝකයක්. අද හෙ‍ට ගෙවිලා මාව වයසටම යයි. ඒත් මම හිතින් තාමත් මගේ හීන වල පොඩි කෙල්ලම වෙලා ඉදී. කෙනෙක් අහයි යථාර්තය නැතුව මවාගැනීමක් ඇතුලෙ ජීවත් වෙන එකේ තේරුම මොකක්ද කියලා. ඒත් අපි ඒකෙන් සතුටු වෙනවනම් ඇයි අපි ඒ වෙනුවෙන් ඉඩ නොදෙන්නෙ. දැන් මම දුක් නොවී ඉන්නවා නෙමේ. ඒත් අමාරුවෙන් හිනා වෙන්න හදනවා...